ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 2,050 දක්වා ඉහළ යාම හේතුවෙන් බන්ධනාගාර කාර්ය මණ්ඩලය මෙන්ම රැඳවියන් ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව වාර්තා වේ. වසර ගණනාවක සිට පවතින මෙම ගැටලුවට මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පෙන්වා දෙයි.
ගාල්ල බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි උපරිම ධාරිතාව 300කට ආසන්න වුවත්, මේ වන විට එහි ධාරිතාව මෙන් හත් ගුණයකට වඩා වැඩි පිරිසක් රඳවා සිටිති. මේ අතර කාන්තා රැඳවියන් 110ක් පමණ සිටින බව ද සඳහන් වේ. රැඳවියන් සංඛ්‍යාව අධික වීම නිසා ඔවුන්ට අවශ්‍ය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමේදී බන්ධනාගාර බලධාරීන් විශාල අභියෝගයකට ලක්ව සිටී.
මෙම තදබදය අවම කිරීම සඳහා බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර බූස්ස ප්‍රදේශයේ අක්කර හතක ඉඩමකට ගෙන යාම කෙරෙහි අවධානය යොමුව තිබේ. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඉදිරි දින කිහිපය තුළ ගාල්ලට පැමිණ මේ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් විසඳුමක් ලබා දීමට නියමිත බව ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ප්‍රකාශ කර ඇත. මීට පෙර ගාල්ල නගර සංවර්ධන සැලැස්ම යටතේ මෙම බන්ධනාගාර ගොඩනැගිල්ල හෝටලයක් බවට පත් කිරීමට ද යෝජනා වී තිබුණි.














