ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට යාපනයේ අලෙයියාලෙයි සිට ඉන්දියාවට පලා යෑම සඳහා ආධාර අනුබල දුන් ‘පලසු’ නමැති බෝට්ටු රියැදුරා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.
මන්නාරම ඉලුප්පකඩවෙයි පොලිස් විශේෂ කාර්යාංශයේ තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 30ක් රඳවා ප්‍රශ්න කළ සෙල්වනේෂන් ජේසුදාසන් නොහොත් ‘පලසු’ නැමැති සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත. මොහු මෙම ඝාතන නඩුවේ 47 වන සැකකරු ලෙස නම් කර ඇති අතර, ඉෂාරා සෙව්වන්දිව ඉන්දියාවට ගොඩබැස්සවීමෙන් පසු බෝට්ටුවේ GPS යන්ත්‍රය ද විනාශ කර ඇති බව අධිකරණයේදී අනාවරණය විය. රුපියල් 50,000ක මුදලක් අයකර ගනිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙලෙස රටින් පලායාමට මොහු උදව් කර ඇති බවට CCDය වැඩිදුරටත් කරුණු වාර්තා කර තිබේ.













