දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉතාලි ඉතිහාසයේ දීර්ඝතම කාලයක් අඛණ්ඩව පාලනය කළ රජය බවට පත්වෙමින්, තම රජය විසින් ඉතාලිය තුළ ඇතිකළ දේශපාලනික ස්ථාවරභාවය අගය කරන බව ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලෝනි (Giorgia Meloni) ප්‍රකාශ කරයි.
2022 ඔක්තෝබර් මාසයේදී බලයට පත් මෙලෝනිගේ දක්ෂිණාංශික සන්ධානය, දින 1,400කට වැඩි කාලයක් බලයේ රැඳී සිටිමින් 2005 වසරේදී සිල්වියෝ බර්ලුස්කෝනි තැබූ වාර්තාව අභිබවා යාමට සමත්ව ඇත. වසර 80ක් තුළ රජයන් 68ක් වෙනස් වූ දේශපාලනික වශයෙන් අස්ථාවර ඉතාලිය තුළ, මෙම ස්ථාවරත්වය හේතුවෙන් යුරෝපා සංගමය තුළ ඉතාලිය කෙරෙහි වූ පිළිගැනීම සහ මූල්‍ය වෙළඳපොළේ විශ්වාසය ඉහළ ගිය බව බාරි (Bari) නගරයේ පැවැති රැළියක් අමතමින් අගමැතිනිය සඳහන් කළාය. කෙසේ වෙතත්, ඉදිරි වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අභියස විපක්ෂය චෝදනා කරන්නේ වසර හතරක පාලනය තුළ සෞඛ්‍ය, අධ්‍යාපන සහ ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රගතියක් අත්කර ගැනීමට මෙලෝනි රජය අසමත් වී ඇති බවයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















