27 April 2024
#දේශීය #පුවත්

කඳුළු ගෑස්, රබර් උණ්ඩවලට සිදු කරන අනවශ්‍ය වියදම් රටේ අධ්‍යාපනයට ලබා දෙන්න – විපක්ෂ නායක සජිත්

සමගි ජන බලවේගය පොදුජනතාව නියෝජනය කරමින් සිදු කරන දැවැන්ත උද්ඝෝෂණයකදී ආණ්ඩුව ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් ඒ සඳහා විශාල වියදමක් ආණ්ඩුව දරා ඇති බවත් එම වියදම පාසල් පද්ධතිය දියුණු කිරීම සඳහා යොමු කිරීමේ හැකියාවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (31) දික්වැල්ල මින්හාත් ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 73 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පනති කාමර ලබා දීමේ අවස්ථාවකට එක්වෙමිනි.

උසස් පෙළ උගන්වන ගුරුවරුන්ට වෙනත් සමාජ සේවා ආයතනයකින් වැටුප් ලබා දෙන රටක වියදම් කළ යුත්තේ කඳුළු ගෑස්, රබර් උණ්ඩ, ජල ප්‍රහාරවලට අවශ්‍ය උපකරණ ගෙන්වීමට ද එසේ නොමැති නම් ගුරු හිඟය, සම්පත් හිඟය පියවා අධ්‍යාපනය ගොඩ නැගීමටද කියා සිතිය යුතු බව හෙතෙම පැවසීය.

රාජ්‍ය ත්‍රස්තවාදය, රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය කුරිරුභාවය, කූරත්වය, ප්‍රචණ්ඩත්වය හරහා සමගි ජන බලවේගයේ ගමන නතර කළ නොහැකි බවත් ලක්ෂ 220 ජනතාව වෙනුවෙන් සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව වීදි සටනක් සිදු කළත් අනීතික රජයක අනීතික ප්‍රහාරවලට ලක්වීමට සිදුවූ බවත් මෙවැනි ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ජනමතයක් නොමැති ජනතාව පත් නොකළ වරමක් නොමැති රජයක් විසින් බවත් විපක්ෂනායකවරයා කියා සිටියේය.

කදුලු ගෑස්, ගුටි බැට, පොලිස් තර්ජන, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනවා වෙනුවට පාසල් 10126 අඩුපාඩු දෙස බලා 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ගේ මානව හා මූලික අයිතිවාසිකම් දෙස බලන ලෙසත් රටේ ලක්ෂ 220 වෙනුවෙන් ලොකු හඬක් නගපු ජනතාවගේ මානව හා මූලික අයිතිවාසිකම් රජය කඩකර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය දක්ෂ වී ඇත්තේ 365 දවසෙම රාජ්‍ය ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය, මිලේච්ඡත්වය තුළින් ජනතාවගේ කටවල් වැසීමට බවත් පැහැදිලිවම සමගි ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනයේ නිදහස ඇතුළු සෑම නිදහස්ම තහවුරු කර ඕනෑම අභියෝගයකට මුහුණ දී ලොවටම ගැලපෙන ගුණාත්මකභාවයෙන් ඉහළ අධ්‍යාපන ක්‍රමයක් ඇති කර බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *