ඉකුත් ජූනි 02 වැනිදා කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඉතාලි නිදහස් දින සැමරුම් උත්සවයේදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අතර උණුසුම් වාදයක් හටගෙන ඇත.
මෙරට පවතින බදු බර සහ ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය පීරිස් මහතා පවසා ඇත්තේ, ඩඩ්ලි සිරිසේන මහතා සුඛෝපභෝගී ‘රෝල්ස් රොයිස්’ මෝටර් රථයක් ආනයනය කිරීම ද ඩොලර් අර්බුදයට හේතුවක් වූ බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රශ්න කර ඇත්තේ සුඛෝපභෝගී වාහන පරිහරණය කිරීමට ඇත්තේ ප්‍රභූ පන්තියට පමණක්ද යන්නයි. තමන් මෙම රථය ආනයනය කළේ වංචා හෝ කොමිස් මුදල්වලින් නොව, සියලු බදු නිසි ලෙස ගෙවා නීත්‍යානුකූලව උපයාගත් ධනයෙන් බව ඔහු අවධාරණය කර ඇත. මහාචාර්ය පීරිස් මහතා කුඩා අවධියේදී පෞද්ගලික අවශ්‍යතා සඳහා රෝල්ස් රොයිස් රථ භාවිත කළ අතීතය තමන් දන්නා බව පවසමින්, වංශවත් පවුල්වලට පමණක් එවැනි වාහන අයිති බව සිතන ඇතැමුන්, තමන් වැනි ස්වෝත්සාහයෙන් දියුණු වූ ව්‍යාපාරිකයෙකු එය මිලදී ගැනීම දරාගත නොහැකිව සිටින බවට සිරිසේන මහතා චෝදනා කර ඇත.
















