ගෝලීය වෙළෙඳපොළේ ප්‍රධාන බොරතෙල් වර්ග තුනෙහිම මිල ගණන් ඇමරිකානු ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණෙමින් අද (27) පස්වරුවේ කැපීපෙනෙන අඩුවීමක් වාර්‌තා විය. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.00 වන විට ලැබුණු වෙළෙඳපොළ දත්තවලට අනුව, ගෝලීය වෙළෙඳපොළේ ප්‍රමුඛතම බොරතෙල් වර්ග ලෙස සැලකෙන බ්‍රෙන්ට් (Brent), ඩබ්ලිව්.ටී.අයි. (WTI) සහ මර්‌බන් (Murban) යන බොරතෙල් වර්ග තුනෙහිම බැරලයක මිල මෙලෙස පහත වැටී තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 88.99ක් දක්වා 8.05%කින් පහළ ගොස් ඇති අතර WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.11ක් දක්වා 6.94%කින් පහත වැටී ඇත. තවද මර්‌බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.20ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 12.21%ක සුවිශේෂී මිල පහළ යාමකි.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල මෙලෙස පහත වැටීම ශ්‍රී ලංකාව වැනි ආනයනික ඉන්ධන මත පදනම් වන රටවල ආර්ථිකයට සහ දේශීය ඉන්ධන මිල සූත්‍රයට යහපත් බලපෑමක් එල්ල කළ හැකි කරුණකි. ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ සැපයුම් ජාලයන්හි ඇති වූ වෙනස්කම් හමුවේ සිදුවූ මෙම මිල පහළ යාම ඉදිරි දිනවලදී ලෝක වෙළෙඳපොළ තුළ කෙලෙස වෙනස් වන්නේද යන්න පිළිබඳව ආර්ථික විශ්ලේෂකයින්ගේ අවධානය යොමු වී ඇත.














