රට තුළ ඩෙංගු වසංගත තත්ත්වය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පැවතියද, දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන් මගින් ඊට නිසි විසඳුම් ලැබී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) චෝදනා කරයි.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ, ජූලි මාසයේ පළමු සතිය අවසන් වන විට අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කලාප සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
පවතින අර්බුදය සම්බන්ධයෙන් බිම් මට්ටමේ තීන්දු තීරණ ගැනීම මන්දගාමී බවත්, අවම වශයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් හෝ පිහිටුවිය යුතු බවත් ඔහු අවධාරණය කරයි. මෙම තත්ත්වය පාලනය කිරීමට අපොහොසත් වුවහොත් 2017 වසරේ පැවති ඛේදවාචකය යළි ඇති විය හැකි බවටද ඔවුන් අනතුරු අඟවයි. විශේෂයෙන්ම, වසරේ මුල් මාස 6 තුළ ඩෙංගු මරණ 32ක් වාර්තා වී තිබියදී, ජූලි මාසයේ පළමු සතිය තුළ පමණක් මරණ 15ක් වාර්තා වීම මෙම අධි වසංගත තත්ත්වයේ බරපතල පෙරනිමිත්තක් බව වෛද්‍ය විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
















