27 April 2024
#දේශීය

විපක්ෂය කියන බොරු ගමට ගොස් නිවැරදි කරන්න – ජනපති පළාත් පාලන නියෝජිතයින්ට කියයි

රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම පිණිස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් පාලන නියෝජිතයින්ට පවසයි.

අද විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බවත් ජනතාව රජය කෙරෙහි තැබූ අපේක්ෂා ඉටුකරමින් සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

රජයේ සැලසුම් නිසි ලෙස ක්‍රියාවට නංවමින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (26) පස්වරුවේ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ පැවති පළාත් පාලන නියෝජිත හමුව අමතමිනි. බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලින් පැමිණි පළාත් පාලන නියෝජිතයෝ හමුවට එක්ව සිටියහ.

පුද්ගලයන් නොව, රජයේ ප්‍රතිපත්ති ඉස්මතු කිරීමට සියලුදෙනා කැපවිය යුතු අතර ප්‍රතිපත්ති බිඳ වැටුණොත් රට නැවත විනාශයට ඇඳ වැටීම වැළැක්විය නොහැකි බවත් රජය බලයට ගෙන ඒමට දුන් සහයෝගය සහ කැපවීම රජයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී ද සියලුදෙනාගෙන් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛ අරමුණ දරිද්‍රතාව තුරන් කර ජනතාවට සෞභාග්‍යය උදා කිරීමය. දරිද්‍රතාව තුරන් කරමින් අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටුවීමට රජය විශාල වැඩකොටසක් කරමින් සිටී. ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කර ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් අත් කර දීමට මේ වසර 05 තුළ කැපවන බව ජනාධිපතිවරයා පැවසිය.

ජනතා ගැටළු පිළිබඳ පුළුල් අවබෝධයක් පළාත් පාලන නියෝජිතයනට තිබේ. ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙලේදී එය ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් පමණක් නොව පරිපාලනමය වශයෙන් ද නායකත්වය ගෙන ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය වන්නැයි ඉල්ලා සිටියේය.

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ විපක්ෂය විවිධ බොරු ප්‍රචාර ගෙන යමින් සිටීන අතර ගමට ගොස් ගමේ සංවර්ධනය සමග එක්වෙමින් බොරු ප්‍රචාර නිවැරදි කිරීමට ක්‍රියා කරන්නැයි ද ජනාධිපතිවරයා පළාත් පාලන නියෝජිතයිනට කීය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදේනි අතුකෝරාළ, සුමිත් උඩුකුඹුර, සාගර කාරියවසම්, මිලාන් ජයතිලක, මධුර විතානගේ, ජයන්ත කැටගොඩ, සුදත් මංජුල යන මහත්වරු ඇතුළු පිරිසක් හමුවට එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *