එක්සත් රාජධානියේ වඩාත්ම ගෞරවණීය විශ්වවිද්‍යාලයක් වන Goldsmiths, University of London, ශ්‍රී ලාංකේය සිසුන්ට ගෝලීය මට්ටමේ බ්‍රිතාන්‍ය උපාධි පාඨමාලා ලබා දීමේ අරමුණින් BCAS කැම්පස් සමඟ හවුල්කාරිත්වයකට එළඹ තිබේ.
ලන්ඩන් හි විශිෂ්ටතම විශ්වවිද්‍යාල 10 අතරට ශ්‍රේණිගත වී ඇති (Complete University Guide 2027) සහ සිය 120 වැනි සංවත්සරය සමරන Goldsmiths විශ්වවිද්‍යාලය, ලන්ඩන් විශ්වවිද්‍යාලයට අයත් ප්‍රමුඛතම ආයතනයකි. මෙම හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාවේ සිසුන්ට පරිගණක විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය, මනෝවිද්‍යාව සහ නීතිය යන විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ ගෝලීය වශයෙන් පිළිගත් උපාධි පාඨමාලා BCAS කැම්පස් හරහා මෙරටේදීම හැදෑරීමේ අවස්ථාව උදාවේ.
මෙම ගිවිසුම 2026 ජූනි මස 3 වැනිදා ලන්ඩන් හී පිහිටි Goldsmiths විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අත්සන් තබන ලදී. ඒ සඳහා Goldsmiths විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එහි උපකුලපති මහාචාර්ය ඩේවිඩ් ඔස්වෙල් සහ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ඇනබෙල් කියර්නන් යන මහත්ම මහත්මීන් ද, BCAS කැම්පස් වෙනුවෙන් එහි සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා සහ ප්‍රධාන විධායක නිලධාරී ටෙරේෂ් අමරතුංග යන මහත්වරුන් ද සහභාගී වූහ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ මහාචාර්ය ඩේවිඩ් ඔස්වෙල් මහතා සඳහන් කළේ, මෙම ගිවිසුම මගින් ශිෂ්‍යයන්ගේ සාර්ථකත්වය සහ ගෝලීය අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීමට සිය ආයතනය දක්වන කැපවීම මැනවින් පිළිඹිබු වන බවයි. BCAS කැම්පස් හි ප්‍රධාන විධායක නිලධාරී ටෙරේෂ් අමරතුංග මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, මව්බිමෙන් බැහැර නොවී ගෝලීය මට්ටමේ බ්‍රිතාන්‍ය අධ්‍යාපන සුදුසුකමක් ලබා ගැනීමට අපේක්ෂා කරන සිසුන්ට මෙමගින් විශාල අවස්ථාවක් උදාවන බවයි.
වසර 27කට වැඩි පළපුරුද්දක් ඇති BCAS කැම්පස්, තම උපාධි පාඨමාලාවල සමාරම්භක කණ්ඩායම සඳහා සිසුන් ලියාපදිංචි කර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති අතර, එම පාඨමාලා 2026 සැප්තැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිතය.
















