27 April 2024
#දේශීය

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට පුද්ගලික අංශයට හොඳ අවකාශයක් – කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්

රට තුළ පවතින වත්මන් ආර්ථික තත්වය මත ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනුවෙන් රජයේ ක්‍රියාකාරීත්වය අවම වී ඇති බවත්, එනිසා එම ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට පුද්ගලික අංශයට හොද අවකාශයක් මෙන්ම අවස්ථාවක් උදාවී ඇති බවත් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07 ) සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශණ ශාලාවේ පැවති කැදැල්ල – Art of Living 2022 ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.

Asia Exhibition & Conventions පුද්ගලික සමාගම, සෙලාන් බැංකුව හා ඩයලොග් සමාගම සමඟ එක්ව සංවිධානය කර ඇති කැදැල්ල – Art of Living 2022 ප්‍රදර්ශණය ඔක්තෝබර් 7, 8 හා 9 යන තෙදින පුරා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. අබණ්ඩව 15 වන වරටත් සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශණය සඳහා මෙවර ප්‍රසිද්ධ වෙළඳ නාම 110 ක් යටතේ ප්‍රදර්ශණ කුටි 200 ක් ඉදිරිපත් කර ඇත. මෙම ප්‍රදර්ශණය තුළ ක්ෂුද්‍ර පරිමාණ හා සුඵ පරිමාණ ව්‍යවසායකයින් හටද අවස්ථාවක් හිමිව තිබීම විශේෂත්වයකි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්, ” රටේ සියළු දෙනා මේ වන විට අභියෝගාත්මක කාල පරිච්ජේදයක් පසුකරමින් සිටිනවා. නමුත් මේ අසීරු මොහොත ඉක්මණින්ම ජයගත හැකි බව අපගේ විශ්වාසයයි. මෙවැනි අසීරු කාලයක ආනයන සීමාවන් පනවා ඇති පසුබිමක වුවත් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට පහසුකම් රජය විසින් සපයා දී තිබෙනවා. පවතින තත්වය හමුවේ රජය විසින් සිදුකළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කාර්යන් යම් පසුබෑමකට ලක්ව තිබෙනවා. එහෙත් පුද්ගලික අංශයට එම තත්වය ප්‍රයෝජනයට ගනිමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට ඉතා හොඳ අවස්ථාවක් මෙන්ම අවකාශයක් නිර්මාණය කරගන්න පුළුවන්. එමෙන්ම මෙම ප්‍රදර්ශණය මෙම ක්ෂේත්‍රයේ නියලී සිටින කර්මාන්තකරුවන්ට මෙන්ම පාරිභෝගික ගැනුම්කරුවන්ටත් ඉතා හොඳ අවස්ථාවක් නිර්මාණය කර දී තිබෙනවා. ඉදිකිරීම් හා ගෘහ අලංකරණ ක්ෂේත්‍රයේ නියැලී සිටින කර්මාන්තකරුවන්ට තම ව්‍යාපාරික අරමුණු සාක්ශාත් කර ගැනීමට ඉතා හොඳ ප්‍රවේශයක් ලබාදෙනවා සේම පිළිකා රෝගීන්ගේ රැකවරණය , SOS ළමා ගම්මාන වැනි සමාජ සත්කාරක සේවා සඳහාද සමාජමය වගකීම මෙම ප්‍රදර්ශණය තුළින් ඉටු කිරීමද ඉතා අගය කළ යුතු වෙනවා ” යැයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.

කැදැල්ල – Art of Living 2022 ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාව සඳහා සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී ඉයුජීන් සෙනෙවිරත්න, Asia Exhibition & Conventions පුද්ගලික සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ ටිරෝන් චන්ද්‍රෙස්කර, ක්ෂේත්‍රයේ නියැලෙන කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *