දේශීය රටකජු නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ගොවීන්ගේ නිෂ්පාදන කටයුතු යාන්ත්‍රීකරණය කිරීම වෙනුවෙන් රටකජු නිෂ්පාදන ගොවි සංවිධාන වෙත රුපියල් ලක්ෂ 63ක් පමණ වටිනාකමකින් යුත් ට්‍රැක්ටර් බෙදාදීම අද (30) ගොවිජන මන්දිරයේදී සිදු කෙරිණි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) “FRIENDS” 4P අගයදාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම උපකරණ බෙදා දුන් අතර, එම අවස්ථාව විෂයභාර අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම ව්‍යාපෘතිය මේ වනවිට ගලේවල, නාඋල, මහියංගණය, රිදීමාලියද්ද සහ කොබෙයිගනේ යන ප්‍රදේශවල ක්‍රියාත්මක වේ.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කියා සිටියේ රජයේ ප්‍රධාන වගකීම ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම බවයි. දැනට රට තුළ ආහාර හිඟයක් නොමැති බවත්, දේශීය රටකජු වගාව ප්‍රවර්ධනය කිරීම හරහා මේ වන විට රටකජු ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කරගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙලෙස ලබාදෙන වටිනා උපකරණ සම්බන්ධයෙන් නිරන්තර පසුවිපරම සහ අධීක්ෂණය අත්‍යවශ්‍ය බව පැවසූ අමාත්‍යවරයා, ගොවීන් තමන්ගේ ලාභය මෙන්ම පාරිභෝගිකයා සහ පොදු යහපත ගැන ද සිතා කටයුතු කළ යුතු බවත්, ඇතැමුන් යෝජනා කරන පරිදි වී කිලෝවකට රුපියල් 150ක් වැනි මිලක් ඉල්ලීමේදී හාල් මිල කෙරෙහි ඇති වන බලපෑම ද තේරුම් ගත යුතු බවත් සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ, අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගැනීමේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් මත වත්මන් රජය ක්‍රියාත්මක වන බවයි. පසුගිය වසරේදී මුං ඇට ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකි වූ බව සිහිපත් කළ ඔහු, ඉදිරියේදී රටකජු ආනයනය ද සීමා කරමින් දේශීය නිෂ්පාදන සඳහා සාධාරණ වෙළෙඳපොළක් සහ අගය එකතු කළ නිෂ්පාදන (Value-added products) බිහිකිරීමට පියවර ගන්නා බව කියා සිටියේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.
















