මැතිවරණ සමයේදී අපේ රට සංවර්ධනයේ පාරාදීසයක් ලෙස පෙන්වන පිරිස්, බලය ලබාගත් පසු එය බොරුවේ පාරාදීසයක් බවට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වත්මන් රජය මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට ද ඔහු චෝදනා කළේය.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 102 වැනි ජන්ම දිනය නිමිත්තෙන් තිස්සමහාරාම, යෝධකණ්ඩිය බෝධිමහා විහාරස්ථානයට රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් ජල පිරිපහදු පද්ධතියක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
මැතිවරණ සමයේදී රාජ්‍ය සේවකයන්ට, තරුණයන්ට සහ මධ්‍යම පන්තියට විවිධ සහන මෙන්ම ලක්ෂ 12ක වාහන ලබාදෙන බව පවසා වත්මන් රජය බහුතර බලයක් ලබාගත් බවත්, නමුත් අද වන විට ජනතාවට සහන දීම ප්‍රතිපත්තිවලට පටහැනි බව පවසමින් මඩ ප්‍රචාර යවන බවත් ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම රටේ වී ගොවියා අද වන විට අන්ත අසරණ වී ඇති බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, පොහොර සහනාධාරය නිසි පරිදි නොලැබීම, කෘෂි රසායන සහ උපකරණ මිල ඉහළ යෑම නිසා ගොවීන් ණය වී වගා කටයුතු කරන බව කියා සිටියේය. මැතිවරණ සමයේදී වී කිලෝවකට රුපියල් 150ක සහතික මිලක් දෙන බව කීවත් අද ගොවියාට ලැබෙන්නේ රුපියල් 75ත් 80ත් අතර මිලක් බවත්, තමන්ගේ අයිතීන් ඉල්ලා ගොවීන් මහපාරට බැසූ විට ඔවුන් ‘කසිප්පුකාරයන්’ ලෙස හංවඩු ගැසීමට රජය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
එදා රණසිංහ ප්‍රේමදාස මහතා ඇඟලුම් කම්හල් 200ක් ඇති කරන අතරම කෘෂිකාර්මික විප්ලවයක් ද සිදුකළ බව සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුවේ විශාල බහුතර බලයක් තිබුණද වත්මන් රජයට ජනතාවට වූ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇතැයි වැඩිදුරටත් පැවසීය.
















