ඉදිරි මහ කන්නය සඳහා රටට අවශ්‍ය පොහොර තොග නිසි පරිදි ආනයනය කිරීම සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර අවශ්‍යතාවය කඩිනමින් සපුරාලීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද (01) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය පී. හැරිසන් (පී. ද සොයිසා) මහතා සහ කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා පොහොර සමාගම්වල නියෝජිතයින් සහ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් එක්ව සිටියහ.
මෙහිදී විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය TSP (ත්‍රිත්ව සුපර් පොස්පේට්), යූරියා (Urea) සහ MOP (මියුරියේට් ඔෆ් පොටෑෂ්) යන පොහොර වර්ග ආනයනය කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරිණි.
මීට අමතරව, 2025 වසරේදී මෙරට විපුල වී අස්වැන්නක් ලැබුණු වසරක් වුවද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කළ ප්‍රමාණයට වඩා අඩු පොහොර ප්‍රමාණයක් ගොවීන් භාවිත කර ඇති බව දත්ත මගින් අනාවරණය විය. එම තත්ත්වය සලකා බලමින්, 2026 වසර සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන සමස්ත පොහොර ප්‍රමාණයම මෙරටට ආනයනය කිරීමට කටයුතු කරන බව පොහොර සමාගම් නියෝජිතයින් මෙහිදී සහතික විය.
මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොහොර අතිරේක ලේකම්වරුන්, පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ZOOM තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.
















