තම “අමතර සේවා දීමනා” සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ලබන 31 වැනිදා පෙරවරු 08.00 සිට එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ.
2026 අගෝස්තු 29 වන දින මුල් කරගනිමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක ඖෂධවේදීන්ගේ අධිකාල දීමනා නිල නාමය “අමතර සේවා දීමනා” ලෙස සංශෝධනය කර තිබුණද, කිසිදු පිළිගත හැකි හේතුවක් නොදන්වා වෛද්‍ය සේවාව විසින් සිදු කරන ලද බලපෑම් මත එම චක්‍රලේඛය අවලංගු කර ඇති බව එම සංගමයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලබා දී නොමැති බැවින්, අදාළ චක්‍රලේඛය බලගන්වන ලෙස ඉල්ලමින් මෙම එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව හෙතෙම සඳහන් කළේය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අතරතුර සියලුම මාතෘ හා ළමා රෝහල්, පිළිකා රෝහල් සහ මානසික සෞඛ්‍ය ආයතන මානුෂීය කාරණා පිළිබඳ අවධානය යොමු කර වර්ජනයෙන් ඉවත් කර ඇති අතර, සෙසු සියලුම රෝහල් තුළ හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බවත්, ඒ ඒ ආයතන සහ රෝහල් තුළ ප්‍රධාන ඖෂධවේදීන් අමතා ආයතන ප්‍රධානීන්ට එම සේවාවන් ලබාගත හැකි බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ. එසේම, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට සිදුවිය හැකි අපහසුතා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අදාළ පාර්ශ්ව වෙත දැනුම්දී තිබේ.
















