මෙම යල කන්නයේදී වී මිලදී ගැනීම සඳහා රජය සාධාරණ මිලක් නියම කර ඇති බවත්, මීළඟ මහ කන්නයේදී ගොවියාට ලැබෙන සහතික මිල තවදුරටත් වැඩි කිරීමට රජය අනිවාර්යයෙන්ම පියවර ගන්නා බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
රජය මේ වන විට ගොවියාට පොහොර සහනාධාරය දෙගුණ කිරීමටත්, විශාල පාඩුවක් දරමින් සහන මිලට පොහොර අලෙවි කිරීමටත් කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙවර යල කන්නය සඳහා වී මිලදී ගැනීමේදී නාඩු රුපියල් 120ක්, සම්බා රුපියල් 130ක් සහ කීරි සම්බා රුපියල් 140ක් ලෙස සහතික මිලක් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, ජූලි 15 වනදා සිට එම මිල යටතේ වී මිලදී ගැනීම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
අස්වනු නෙළීමේදී ගොවීන් මුහුණ දෙන පිරිවැය වැඩි වීම තමන් පිළිගන්නා බවත්, එම පීඩනය අවම කිරීම සඳහා රජය උපරිම මැදිහත්වීමක් සිදු කරමින් සිටින බවත් ඔහු පැවසීය. එබැවින් රජය නියම කර ඇති සහතික මිල අසාධාරණ නොවන බවත්, පසුගිය රජයන් මෙන් නොව මෙවර අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 16ක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















