බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සහ අභිවෘද්ධිය සහතික කිරීම උදෙසා වර්තමාන රජයේ පූර්ණ රාජ්ය මැදිහත්වීම සහ සහයෝගය නිරන්තරයෙන් ලබාදෙන බව අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා අවධාරණය කරයි. වඩත්ත කොට්ටුකච්චිය ශ්රී සරණංකර පිරිවෙන් විහාරස්ථානයේදී පැවැති කුල දරුවන් 14 නමක් සසුන්ගත කිරීමේ සහ පිළිගැනීමේ මහෝත්සවයට එක්වෙමින් අමාත්යවරයා පෙන්වා දුන්නේ, අතීතයේ සිට පැවත එන දේශීය සංස්කෘතික හා ශාසනික අගයන් ආරක්ෂා කරගනිමින් ජනතාවගේ ලෞකික පෝෂණය මෙන්ම ශාසනික උන්නතිය වෙනුවෙන්ද රජය සෘජුවම කැපවී සිටින බවයි.
මෙම ශාසනික මෙහෙවර තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත විශේෂ වැඩසටහන් රැසක් ක්රියාත්මක කර ඇති බව අනාවරණය කළ අමාත්යවරයා, කුඩා වියේදීම සසුනට පූජා කෙරෙන සාමණේර හිමිවරුන්ගේ දෙමාපියන් වෙනුවෙන් “යතිවර මාපිය නිවාස වැඩසටහන” ආරම්භ කර ඇති බව සඳහන් කළේය. ඒ අනුව මෙරට නිවාස නොමැති යතිවර මාපියන් වෙනුවෙන් මෙම වසර තුළ පමණක් නිවාස 1000ක් ඉදිකිරීම සඳහා ජනාධිපති ප්රතිපාදන වෙන් කර ඇති අතර, ආපදාවලට ලක්වූ කොට්ටුකච්චිය ටැම්පිට විහාරය, පරමාකන්ද රාජමහා විහාරය සහ මුල්දේගම රාජමහා විහාරය ඇතුළු ජරාවාස වූ ඓතිහාසික විහාරස්ථාන ප්රතිසංස්කරණය සඳහා ද වෙන් වෙන් වශයෙන් ප්රතිපාදන සැලසීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම 2027 සහ 2028 අයවැය ප්රතිපාදන මගින් කොට්ටුකච්චිය ශ්රී සරණංකර පිරිවෙනේ ඉදිකෙරෙමින් පවතින භික්ෂු නේවාසිකාගාර ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් නිම කරදීමටත්, සමස්ත පිරිවෙන් අධ්යාපනය උසස් මට්ටමකට ගෙන ඒම සඳහා විශේෂ අධ්යාපනික ක්රියාවලියක් හරහා විශාල මුදලක් ආයෝජනය කිරීමටත් රජය සැලසුම් කර ඇත. සසුනට එක්වන පොඩි හාමුදුරුවරුන්ට ස්වකීය අධ්යාපන කටයුතු නිදහසේ කරගෙන යාමටත්, උන්වහන්සේලාගේ දෙමාපියන්ගේ සුබසාධනය තහවුරු කිරීමටත් ගන්නා මෙම පියවර හරහා මෙරට බෞද්ධ ශාසනික පදනම තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














