තාක්ෂණය ද උපයෝගී කරගනිමින් ජනතාවට සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වා දීම රජයේ අපේක්ෂාව බව කම්කරු අමාත්‍ය සහ මුදල්, ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය. දැනට පවතින සියයට 18ක (18%) වැට් බද්ද ඉහළ මට්ටමක පවතින බව පිළිගත් අමාත්‍යවරයා, රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය රැකගනිමින් ඉදිරියේදී එම බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
ඩිජිටල් සේවා බද්ද මඟින් දේශීය ව්‍යවසායකයින්ට අසාධාරණයක් වන බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු, මෙය අලුතින් වැට් අය කිරීමක් හෝ ව්‍යාපාරවලට පනවන බද්දක් නොවන බවත්, බදු පැහැර හරින ව්‍යාපාර ද ක්‍රමිකව බදු යන්ත්‍රණයට ඇතුළත් කර ගැනීමට පියවර ගන්නා බවත් පැවසීය. බදු පරිපාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන් මින් ඉදිරියට බදු වාර්තා දෙකක් වෙනුවට තනි වාර්තාවක් (Single Tax Return) ලබාදීමට කටයුතු සූදානම් කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















