ඉදිරි මාස් කන්නයේ සිට සමස්ත වී වගාවෙන් සියයට 25ක් සම්බා සහ කීරි සම්බා වී වගා කිරීම අනිවාර්ය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවත්, නාඩු වී අතිරික්තය පාලනයට මෙම පියවර ගන්නා බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර ඇමැති වසන්ත සමරසිංහ මහතා මාතලේදී පැවසීය. මාතලේ පළාපත්වෙල කෝන්ගහමුල සමූපකාර සංකීර්ණය නිරීක්ෂණයට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දැනට ගබඩා කර ඇති වී තොග සහල් කිරීම සඳහා සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් ටෙන්ඩර් කැඳවීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, ලියාපදිංචි වූ තෝරාගත් වී මෝල් හිමියන් 11 දෙනෙකු වී තොග ලබාගෙන සහල් කිලෝවක් සඳහා රුපියල් 12ත් 22ත් අතර පිරිවැයක් ගණනය කර දීමට පොරොන්දු වී ඇත. 2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6,000ක් වෙන් කර ඇති බවත්, ගොවියාට සාධාරණ මිලක් ලබාදී පාරිභෝගිකයාටද සාධාරණ මිලකට සහල් ලබාදීම රජයේ අරමුණ බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















