2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අගෝස්තු මස 05 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අදාළ විභාග කටයුතු අවසන් වනතුරු මෙම තහනම දැඩි ලෙස බලපැවැත්වෙනු ඇත.
මෙම තහනම් කාල සීමාව තුළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, විභාග ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීමද නොකළ යුතු බවයි දන්වා ඇත්තේ.මේ අතර, 2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වන දින දිවයින පුරා මධ්‍යස්ථාන 2723 කදී පැවැත්වීමට නියමිතව ඇත.














