චීනයේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Great Wall Motor (GWM) සමාගම, ඉදිරි වසර දෙක ඇතුළත යුරෝපය සඳහා නව මාදිලියේ මෝටර් රථ අවම වශයෙන් 10ක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව අද (21) නිවේදනය කළේය. මීට පෙර යුරෝපීය වෙළෙඳපොළ ජය ගැනීමට ගත් උත්සාහය අපේක්ෂිත පරිදි සාර්ථක නොවූ පසුබිමක, මෙම නව ව්‍යාපෘතිය හරහා සිය ව්‍යාපාරික කටයුතු යළිත් ශක්තිමත් කිරීම ඔවුන්ගේ අරමුණයි. 2021 වසරේ මියුනිච් මෝටර් රථ ප්‍රදර්ශනයේදී විද්‍යුත් වාහන පෙළක් සමඟින් ඔවුන් යුරෝපයට පිවිසීමට උත්සාහ කළ ද, පවතින දැඩි තරඟකාරීත්වය හමුවේ එය පසුබෑමකට ලක් විය.
කෙසේ වෙතත්, නවීන තාක්ෂණයෙන් යුත් නව මාදිලි රැසක් සමඟින් මෙවර වඩාත් ශක්තිමත්ව යුරෝපීය පාරිභෝගිකයින් අතරට යාමට සමාගම බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම විද්‍යුත් සහ දෙමුහුන් (Hybrid) වාහන සඳහා යුරෝපයේ පවතින ඉහළ ඉල්ලුම ප්‍රයෝජනයට ගැනීමට GWM සැලසුම් කර ඇති අතර, BYD සහ Chery වැනි අනෙකුත් චීන සමාගම් සමඟ ද ඔවුන්ට මෙහිදී තරඟ කිරීමට සිදුවනු ඇත. මෙම නව ආගමනයත් සමඟ ගෝලීය මෝටර් රථ කර්මාන්තය තුළ චීන බලපෑම තවදුරටත් වර්ධනය වනු ඇතැයි විදේශීය මාධ්‍ය වාර්තා කරයි.















