දකුණු ලෙබනන කලාපයේ පාලනය සහ ආරක්ෂාව ලෙබනන සන්නද්ධ හමුදාවන් වෙත පවරා ගත යුතු බවට ජාත්‍යන්තරය යෝජනා කළද, ඒ සඳහා සෘජු මූල්‍ය සහ බරපතල යුධමය සහාය ලබා දීමට ග්‍රීසිය කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.
ග්‍රීක නාවික හමුදාවට අයත් ‘රෝඩෝස්’ නමැති ප්‍රහාරක නෞකාව මගින් M113 වර්ගයේ සන්නද්ධ රථ 13ක් සහ STEYR ප්‍රවාහන රථ 10ක් ලෙබනන හමුදාව වෙත භාරදීම සඳහා පසුගිය සති අන්තයේ බේරූට් වරායට ළඟා වී ඇත. මෙය ග්‍රීසිය විසින් මෙලෙස ලබා දුන් දෙවන යුධ උපකරණ තොගය වන අතර, පසුගිය ජනවාරි මාසයේදීද මෙවැනිම හමුදා වාහන සහ අමතර කොටස් තොගයක් ලබා දී තිබුණි.
ඊශ්‍රායල හමුදා පසුබැසීම සහ හිස්බුල්ලා සංවිධානය වෙත එල්ල වන ආයුධ බිම තැබීමේ බලපෑම් හමුවේ දකුණු ලෙබනනයේ බලය තහවුරු කර ගැනීමට ලෙබනන හමුදාවට ඇති හැකියාව තීරණාත්මක සාධකයකි. එම මෙහෙයුම් සඳහා හමුදාව සන්නද්ධ කිරීමේ ප්‍රායෝගික පියවර වෙනුවෙන් අතලොස්සක් වූ රටවල් අතරින් ග්‍රීසිය ඉදිරියෙන්ම සිටින බව අදාළ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
















