තම ජීවිතයේ සතුටුදායකම දිනය සනිටුහන් කරමින් අතිනත ගත් තරුණ යුවළක් විවාහ මංගල්‍යය නිමා වී පැය කිහිපයක් ගතවීමටත් මත්තෙන් මුහුණ දුන් බිහිසුණු හෙලිකොප්ටර් අනතුරකින් මනාලයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ ඛේදජනක පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ. මෙලෙස අනතුරට මුහුණ පා ඇත්තේ ජෝර්ජියා (Georgia) ප්‍රාන්තයේදී 400කට අධික අමුත්තන් පිරිසකගේ ආශිර්වාදය මැද ඉකුත් සිකුරාදා (මැයි 29) විවාහ දිවියට ඇතුළත් වූ 25 හැවිරිදි ඩේව් ෆීජි (Dave Fiji) සහ ජෙස්නි ෆීජි (Jesni Fiji) නැමැති නවතම විවාහක යුවළයි.
සිය මංගල සාදය නිමා කිරීමෙන් අනතුරුව මධුසමය (Honeymoon) ගත කිරීම සඳහා ඇට්ලන්ටා (Atlanta) නුවර බලා යාමට මොවුන් දෙදෙනා ‘Robinson R66’ වර්ගයේ හෙලිකොප්ටර් යානයකට ගොඩවැදී ඇති අතර, ගමනාන්තය වෙත ළඟාවීමට පෙර ඩෝසන්විල් (Dawsonville) ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකට මෙම යානය කඩා වැටී තිබේ. මියගිය මනාල ඩේව් ද වෘත්තියෙන් ගුවන් නියමුවෙකු වන අතර, අයහපත් කාලගුණය සහ අවම දෘශ්‍යතාව (Zero visibility) හේතුවෙන් පියාසර කිරීම අනතුරුදායක බව ඔහු ගමන ආරම්භයට පෙර පවසා ඇතත්, යානයේ ප්‍රධාන නියමුවා එය නොසලකා හරිමින් ඉහළ උන්නතාංශයකින් පියාසර කළ හැකි බව පවසා යානය පණගන්වා ඇත. මෙම දරුණු අනතුරෙන් මනාල ඩේව් සහ හෙලිකොප්ටර් නියමුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූහ.
වෘත්තියෙන් හෙදියක වන මනාලිය ජෙස්නි ආශ්චර්යමත් ලෙස කිසිදු අස්ථි බිඳීමකින් තොරව සුළු තුවාල සහිතව අනතුරෙන් බේරී ඇති අතර, සිහිය ආ පසුව තම සැමියා තමා මත වැතිර සිටිනු දැක තිබේ. එහිදී සිය වෛද්‍ය වෘත්තීය දැනුම අනුව ඇය තම සැමියාගේ සිරුර සීතල වී ඇති අයුරු නිරීක්ෂණය කර ඔහු ඒ වන විටත් මියගොස් ඇති බව තහවුරු කරගෙන ඇත. මියගිය ඩේව්ගේ පියා වන ඩෙල්ටා ගුවන් සේවයේ හිටපු නියමුවෙකු වන ජෝර්ජ් ප්‍රකාශ කර සිටින්නේ, ඉතාමත් සාර්ථක සහ අලංකාර අයුරින් නිමවූ තම පුතුගේ මංගල දිනය මෙලෙස අවසන් වනු ඇතැයි කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ බවයි. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන මනාලිය දැඩි මානසික කම්පනයකින් පසුවන අතර, ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය (NTSB) මඟින් අනතුරට හේතුව සෙවීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
















