හබරාදූව, කොග්ගල මාර්ටින් වික්රමසිංහ කෞතුකාගාරය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් දරුවන් 10 දෙනෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අද (25) දහවල් සිදුවූ මෙම අනතුරට ලක්ව ඇත්තේ කොට්ටාව ප්රදේශයේ උපකාරක පන්තියක සිසුන් පිරිසක් අධ්යාපන චාරිකාවක් සඳහා රැගෙන ගිය බස් රථයකි. එහි සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් ඇතුළු 50කට අධික පිරිසක් ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රිය බස් රථයේ පසුපස කොටසේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවූ දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටු නොමැති අතර, විදුලි ආලෝක සංඥා සහ සීනුව මඟින් පමණක් එය ක්රියාත්මක වන බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු හබරාදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.














