2025 මාර්තු මාසයේ සිට 2026 සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ හම්බන්තොට ජාත්යන්තර වරාය හරහා වාහන 167,569ක් බෙදාහැර ඇති බව හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහය පවසයි.
ඒ අනුව, 2025 මාර්තු සිට දෙසැම්බර් දක්වා කාලය තුළ වාහන 86,389ක් බෙදාහැර ඇති අතර, එයට නව වාහන 30,809ක් සහ භාවිත කළ වාහන 55,580ක් ඇතුළත් වේ.
2026 වසරේ සැප්තැම්බර් මාසය දක්වා තවත් වාහන 81,180ක් බෙදාහැර තිබේ. ඉන් නව වාහන 25,018ක් වන අතර, භාවිත කළ වාහන සංඛ්යාව 56,162කි.
වාහන සඳහා ඉහළ ගිය ඉල්ලුම සහ ප්රවාහන කටයුතුවලට බලපෑ විවිධ බාධා මධ්යයේ ආනයනකරුවන්ට අවශ්ය සහාය ලබාදීමට පියවර ගත් බව වරාය සමූහය සඳහන් කරයි.
මේ අතර, ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයද වරාය සමූහයේ මෙහෙයුම් නම්යශීලීත්වය සහ ආනයනකරුවන්ට ලබාදුන් සහාය අගය කර තිබේ. සාමාජිකයන් 450කට වැඩි පිරිසක් නියෝජනය කරන එම සංගමයට විශාල සමාගම් මෙන්ම ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරද ඇතුළත් වේ.
වාහන ආනයන සීමා පැවති කාලයේදී වරායේ දිගු කාලයක් රඳවා තිබූ වාහන සඳහා ප්රමාද ගාස්තු ඉවත් කිරීම සහ වෙනත් සහන ලබාදීමටද වරාය සමූහය කටයුතු කර ඇත. එමෙන්ම, ගල්ෆ් කලාපය හරහා සිදුකරන වාහන ප්රතිනැව්ගත කිරීම්වලට මෑතකදී ඇති වූ බාධා හේතුවෙන් බලපෑමට ලක්වූ වාහන සඳහා ගබඩා ගාස්තු සීමා කිරීමේ ක්රමවේදයක්ද හඳුන්වා දී තිබේ.
හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහයේ ප්රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා සඳහන් කර ඇත්තේ ඉහළ යන ඉල්ලුමට ප්රතිචාර දැක්වීම සඳහා වරායේ හැසිරවීමේ ධාරිතාව පමණක් නොව, පාරිභෝගික අවශ්යතා හඳුනාගෙන වෙනස් වන තත්ත්වයන්ට අනුව කටයුතු කිරීමේ හැකියාවද වැදගත් වන බවයි.
















