හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සිය ඉතිහාසයේ තනි නෞකාවකින් සිදුකළ ඉහළම බහාලුම් මෙහෙයුම් ධාරිතාව වාර්තා කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. නැගෙනහිර-බටහිර ප්‍රධාන මුහුදු මාර්ගයේ විකල්ප ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් ලෙස වරාය වේගයෙන් වර්ධනය වෙමින් පවතින බව මෙමගින් තහවුරු වේ.
අප්‍රේල් 11 සිට 15 දක්වා දින හතරක් පුරා වරායේ නැංගුරම් ලා තිබූ MSC Marie Leslie නෞකාවෙන් බහාලුම් 13,260ක් (TEUs) මෙහෙයවීමට වරාය බලධාරීන් සමත්ව ඇත. මෙය බහාලුම් එහාමෙහා කිරීම් (Container moves) 7,968ක වාර්තාගත අගයකි. මීට පෙර මාර්තු මාසයේදී MSC Ilenia (TEUs 12,957) සහ MSC Ruby (TEUs 11,369) යන නෞකාවන් පිහිටුවා තිබූ වාර්තා අභිබවා යාමට මෙම නව මෙහෙයුම සමත්ව තිබේ.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ටොමී යැං මහතා ප්‍රකාශ කළේ, මෙම ජයග්‍රහණය වරාය සතු මෙහෙයුම් විනය, සම්බන්ධීකරණය සහ කාර්යක්ෂමතාව මනාව පිළිබිඹු කරන්නක් බවයි. ප්‍රධාන නැව් මාර්ගයට නාවික සැතපුම් 10ක් වැනි ඉතා සමීප දුරකින් පිහිටා තිබීම හම්බන්තොට වරායට පවතින ප්‍රධාන උපායමාර්ගික වාසියක් වන අතර, කලාපීය අනෙකුත් වරායන්හි පවතින තදබදය හමුවේ හම්බන්තොට වරාය ජාත්‍යන්තර සැපයුම් දාම ජාලයේ ප්‍රධාන නෝඩයක් (Node) ලෙස වේගයෙන් ඉදිරියට එමින් පවතී.













