ජපානයේ ටෝකියෝ නුවර පිහිටි කාර්යබහුල හනෙඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මගීන්ගේ බරැති ගමන් මලු හැසිරවීම සඳහා මානවරූපී රොබෝවරුන් (Humanoid robots) යොදාගැනීමේ සුවිශේෂී අත්හදා බැලීමක් ආරම්භ කර තිබේ. ජපන් ගුවන් සේවය (JAL) සහ ‘GMO Internet Group’ ආයතනය එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මගින් ගුවන් තොටුපළ සේවකයින්ගේ කායික පීඩාව අවම කිරීම අපේක්ෂා කෙරේ.
චීනයේ ‘Unitree’ සමාගම නිපදවා ඇති සෙන්ටිමීටර 130ක් පමණ උසැති මෙම රොබෝවරුන්ට ගුවන් යානා අසල භාණ්ඩ පටි මත ගමන් මලු තල්ලු කිරීමටත්, අන් අයට සංඥා කිරීමටත් හැකියාව පවතී. එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු පැය දෙක තුනක කාලයක් අඛණ්ඩව වැඩ කළ හැකි මොවුන්, අනාගතයේදී ගුවන් යානා කුටි පිරිසිදු කිරීමට ද යොදාගැනීමට සැලසුම් කර ඇත. ජපානයේ පවතින ශ්‍රමික හිඟයට විසඳුමක් ලෙස මෙම පියවර ගෙන ඇති අතර, මෙම අත්හදා බැලීම් 2028 වසර දක්වා ක්‍රියාත්මක වනු ඇත. කෙසේ වෙතත්, ආරක්ෂක කළමනාකරණය වැනි සංවේදී කාර්යයන් සඳහා තවදුරටත් මිනිස් මැදිහත්වීම අත්‍යවශ්‍ය බව බලධාරීහු අවධාරණය කරති.














