බේකරි නිෂ්පාදන සඳහා දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිත කිරීම දේශීය ගොවියා ශක්තිමත් කිරීමටත්, සංචාරක කර්මාන්තයේ වර්ධනයටත් විශාල රුකුලක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ කොළඹ පැවති සමස්ත ලංකා බේකරි හිමියන්ගේ වාර්ෂික සමුළුව අමතමිනි.
රට ආර්ථික පරිවර්තනයකට ලක්වෙමින් පවතින මෙම තීරණාත්මක මොහොතේ බේකරි කර්මාන්තය හුදු පිටි ආශ්‍රිත නිෂ්පාදනවලට පමණක් සීමා නොවී, රටේ ආර්ථිකයේ ප්‍රධාන බලවේගයක් බවට පත් කරගත යුතු බව අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය. ආහාර නිෂ්පාදනයක පදනම ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂිත බව විය යුතු බව පෙන්වා දුන් ඇය, රසයට පමණක් මුල්තැන නොදී කෘත්‍රිම රසකාරක සහ වර්ණකවලින් තොර, පෝෂණ ගුණයෙන් ඉහළ සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමේ වැදගත්කම පැහැදිලි කළාය.
සහල් පිටි, කුරක්කන්, මෙනේරි, මුං ඇට සහ දේශීය අල වර්ග වැනි අමුද්‍රව්‍ය භාවිතා කරමින් අගය එකතු කළ නව නිෂ්පාදන නිර්මාණය කිරීමෙන් ගෝලීය “සෞඛ්‍ය සම්පන්න ආහාර” ප්‍රවණතාවය ජය ගැනීමට බේකරි කර්මාන්තයට විශාල හැකියාවක් පවතින බව අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය. විදේශීය සංචාරකයන්ට සපයන ආහාර සඳහා දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිතා කිරීම මෙරට ගොවීන්ට සහ සංචාරක කර්මාන්තයට ලැබෙන මහඟු අවස්ථාවකි.
දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින බව පැවසූ අග්‍රාමාත්‍යතුමිය, අමුද්‍රව්‍ය ආනයන ගැටලු අවම කිරීම, නව තාක්ෂණය සඳහා සහනදායී ණය පහසුකම් ලබාදීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් සහතික කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට රජය සූදානම් බව ප්‍රකාශ කළාය. එසේම, කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය පුහුණුව සහ වෙළඳපොළ සම්බන්ධතා ඇති කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය හරහා වැඩසටහන් දියත් කර ඇති බව ද ඇය වැඩිදුරටත් සිහිපත් කළාය.
















