රජයේ වැඩපිළිවෙළට මහා සංඝරත්නයෙන් ලැබෙන ආධ්‍යාත්මික මඟපෙන්වීමත්, සමාජය තුළ යහපත් වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන සහයෝගයත් ඉතා වටිනා ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. වතුරවිල වනවාස සංඝ මූලාස්ථානාධිපති, ශ්‍රී ඤාණානන්ද වනවාස මහා පිරිවෙනේ අධ්‍යක්ෂ මහකන්දේ රතනපාල ස්වාමීන්වහන්සේ, ශ්‍යාමෝපාලි වනවාස නිකායේ මහනායක ධුරයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
ඇල්පිටිය, කහදූව, වතුරවිල තිබ්බොටුවාව වනවාස මූලාස්ථානයේදී මෙම උත්සවය පැවැත්විණි. දශක හයකට ආසන්න කාලයක් පුරා වනවාස සම්ප්‍රදාය, ශාසනික අධ්‍යාපනය සහ ධර්ම ශාසනයේ අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් මහකන්දේ රතනපාල ස්වාමීන්වහන්සේ ඉටු කළ මෙහෙවර අගය කළ අග්‍රාමාත්‍යවරිය, රටක් නවීකරණය කරන මෙම ගමනේදී ආරණ්‍යවාසී භික්ෂූන්වහන්සේලාගේ ජීවන සම්ප්‍රදායෙන් ප්‍රකාශ වන සරලත්වය, සංයමය සහ විනය මහත් ආදර්ශයක් බව පෙන්වා දුන්නාය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, සම්බුද්ධ ශාසනයේ මුරදේවතාවන් වන මහා සංඝරත්නය විවේචනයට හෝ අපහාසයට ලක් නොවෙන අයුරින් සුරක්ෂිත කිරීම සියලු දෙනාගේම ජාතික වගකීමක් වන බවයි. මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද, නියෝජ්‍ය අමාත්‍ය ගමගේදර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















