දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් දෙමාපියන් දරන වියදම් බර අඩු කරමින්, එම වගකීමෙන් කොටසක් රජය ද භාරගත යුතු බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඇය මේ බව සඳහන් කළේ ඊයේ (24) කඩවලවැව මහා විද්යාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජය රුපියල් මිලියන 55ක පමණ මුදලක් වැය කර ඇති අතර, එහි ප්රාථමික පන්ති කාමර අටක් ස්ථාපිත කර තිබේ.
මේ වසරේ සිට ක්රියාත්මක වන අධ්යාපන ප්රතිසංස්කරණවල ප්රධාන අරමුණ දැනුමෙන්, කුසලතාවලින් සහ යහපත් වටිනාකම්වලින් පිරිපුන් පුරවැසියන් බිහිකිරීම බව ද අග්රාමාත්යවරිය සඳහන් කළාය.
විභාග සඳහා පමණක් දරුවන් සූදානම් කිරීම වෙනුවට, ලබාගන්නා දැනුම ප්රායෝගිකව යොදාගනිමින් සමාජ ගැටලු විසඳීමට සහ නව නිර්මාණ බිහිකිරීමට හැකි දරුවන් පිරිසක් බිහිකිරීම රජයේ අරමුණ බව ද ඇය පෙන්වා දුන්නාය.
ඒ සඳහා නව විෂයමාලා හඳුන්වාදීම, ගුරු පුහුණුව සහ පාසල් යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු වැඩසටහන් ක්රියාත්මක කරන බවත්, 2027 වසරේදී අධ්යාපන පරිවර්තනය වෙනුවෙන් තවදුරටත් විශාල ආයෝජනයක් කිරීමට අපේක්ෂා කරන බවත් ඇය සඳහන් කළාය.
වසර ගණනාවක් ප්රමාද වී තිබූ ගුරු සහ විදුහල්පති බඳවා ගැනීම් නැවත ආරම්භ කරමින්, කුසලතා හා හැකියාවන්ට ප්රමුඛත්වය ලබාදී අධ්යාපන පද්ධතිය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද අග්රාමාත්යවරිය වැඩිදුරටත් පැවසුවාය.










