බාහිර ලෝකය ආලෝකවත් කරන්නා සේම, තමන්ගේ හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාව ආලෝකවත් කරගැනීමට මෙවර වෙසක් සමය අවස්ථාවක් කරගත යුතු බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සිය වෙසක් දින පණිවිඩයෙන් ප්‍රකාශ කර සිටියි. බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගනිමින්, ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවායි ලක්වාසී සැමට ප්‍රාර්ථනා කරන ඇය, ලෝභ, ද්වේෂ, මෝහ අකුසල දුරු කරමින් සාමය හා සැනසීම උදා කරගන්නා වූ පින්බර කාලසීමාවක් බවට මෙය පත් කරගනිමු යැයි ද සඳහන් කර තිබේ.
මෙවර රාජ්‍ය වෙසක් තේමාව වන “අභිත්ථරෙථ කල්‍යාණේ” – පොදු යහපත පිණිස වහ වහා පෙළගැසෙමු යන්න කාලීන සමාජ අවශ්‍යතාව මැනවින් නිරූපණය කරන්නක් බව පෙන්වා දෙන අගමැතිනිය, පෞද්ගලික පටු අරමුණුවලින් බැහැරව පොදු යහපත උදෙසා කැපවෙන, ධර්මයේ බැබළෙන දේශයක් උදා කරගැනීමට මෙම වෙසක් මංගල්‍යය ආශීර්වාදයක් හා ශක්තියක් කරගත යුතු බව ද පවසයි. එමෙන්ම, දැහැමි පාලනයක් ඔස්සේ රටේ දියුණුව සහ සෞභාග්‍යය උදාකර ගත හැකි බවත්, ‘සියලු සත්වයෝ සුවපත් වෙත්වා’ උදාර සංකල්පය මත පිහිටා ආර්ථික හා සමාජීය අභියෝග ජයගැනීමට අවශ්‍ය ඉවසීම පුරුදු කිරීම අත්‍යවශ්‍ය බවත් ඇය අවධාරණය කරයි. අන්තගාමීත්වය බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරමින්, පරිසර හිතකාමී වෙසක් සැමරුමකට එක්වන ලෙස ද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි.















