විභාග පස්සේ දුවන අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට ගොස් සිසුන්ගේ කුසලතා, නිර්මාණශීලීත්වය සහ අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම් ක්‍රියාවලියක් ප්‍රවර්ධනය වන අයුරින් අධ්‍යාපන ක්‍රමය නවීකරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. කොළඹදී පැවති “250 වසරක අධ්‍යාපනික විශිෂ්ටත්වය: ශ්‍රී ලාංකික ඇමරිකානුවකුගෙන් උගත හැකි පාඩම්” මැයෙන් පැවති මහජන දේශනයට එක්වෙමින් අගමැතිතුමිය මේ බව සඳහන් කළාය.
එක්සත් ජනපද – ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසම විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි. පවතින අධ්‍යාපන පද්ධතියේ සාර්ථක දේවල් ඉවත් නොකර, වර්තමාන හා අනාගත අවශ්‍යතාවලට ගැළපෙන පරිදි එය නවීකරණය කිරීම වත්මන් ප්‍රතිසංස්කරණවල අරමුණ බව අගමැතිතුමිය අවධාරණය කළාය. ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ සහ දෙමාපියන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ශක්තිමත් කිරීමේ සහ අධ්‍යයනමය මෙන්ම වෘත්තීය අධ්‍යාපන මාර්ග සඳහා සමාන පිළිගැනීමක් ලබාදීමේ අවශ්‍යතාවද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.














