රටේ වර්තමාන ආර්ථික තත්ත්වය බරපතල අඩියකට වැටෙමින් පවතින බවත්, වත්මන් රජය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් සමස්ත වෙළඳපොළම දැඩි ලෙස අස්ථාවර වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. පසුගිය දින කිහිපය තුළ රුපියලේ අගය තවදුරටත් බිඳ වැටෙමින් නිල වෙළඳපොළේ ඩොලරයේ අගය රුපියල් 342ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කළු කඩයේ එහි මිල රුපියල් 345 සීමාවද ඉක්මවා ගොස් ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, පොලී අනුපාත ඉහළ දැමීමෙන් පසු දින කිහිපයක් රුපියල ස්ථාවරව පැවතියද රජය පිළිබඳ විශ්වාසය පළුදු වීම නිසා එය නැවතත් වේගයෙන් අවප්‍රමාණය වීමට පටන් ගෙන ඇති බව සඳහන් කළේය. රුපියල තවදුරටත් කඩා වැටෙනු ඇතැයි යන බිය නිසා විදේශගත ශ්‍රමිකයන් ප්‍රේෂණ එවීම පමා කරන අතර අපනයනකරුවන් පවා තම ආදායම් මෙරටට ගෙන ඒමට මැළිකමක් දක්වන බැවින්, ඉදිරි සති කිහිපය තුළ බැංකු පද්ධතියට ආනයන ණයවර ලිපි (LC) සඳහා අවශ්‍ය ඩොලර් සපයා ගැනීම දැඩි අභියෝගයක් වනු ඇති බවට ඔහු අනතුරු අඟවයි. මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදය විසින් ලංකාවේ භාණ්ඩ සඳහා අලුතින් සියයට 2.5ක බද්දක් පැනවීමට සූදානම් වීමත් සමඟ මුළු බද්ද සියයට 22.5ක් දක්වා ඉහළ යා හැකි බවත්, අනෙකුත් රටවල් ද්විපාර්ශ්වික ගිවිසුම් හරහා මින් නිදහස් වුවද ශ්‍රී ලංකා රජය ඇමරිකාව සමඟ කළ සාකච්ඡා අසාර්ථක වී ඇති බවත් මන්ත්‍රීවරයා විවේචනය කළේය. මේ හේතුවෙන් වෙළඳපොළේ පවතින සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම වැළැක්විය නොහැකි බවත්, රජයේ වගකිවයුත්තන් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ආර්ථික කළමනාකරණය පිළිබඳව සරල ලෙස අදහස් දැක්වුවද පවතින සැබෑ තත්ත්වය සමස්ත පොදු මහජනතාවම දැඩි පීඩාවකට පත් කරන ඉතා භයානක එකක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
















