වෙළෙඳපොළ විශ්වාසය ජයග්‍රහණය කිරීම සඳහා ආණ්ඩුව වහාම නිසි වැඩපිළිවෙළක් ක්‍රියාවට නොනැංවුවහොත්, ඉදිරියේදී වෙළෙඳපොළ කඩා වැටීම වැළැක්විය නොහැකි බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
වෙළෙඳපොළ විශ්වාසය කඩා වැටීම යනු සමස්ත ආර්ථිකයම කඩා වැටීමකි. විශේෂයෙන්ම ඩොලරයේ අගය තවදුරටත් ඉහළ යාම ආර්ථික අස්ථාවරත්වයට ප්‍රධාන හේතුවක් බව ඔහු පෙන්වා දෙයි. වෙළෙඳපොළ තුළ නිදහස් විනිමය අනුපාතයක් නොමැති බවත්, දැනට පවතින්නේ මහ බැංකුව විසින් පාලනය කරනු ලබන අනුපාත පමණක් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා දේශපාලනික ප්‍රකාශ සිදු කළ ද, මුදල් අමාත්‍යාංශය විසින් වෙළෙඳපොළ විශ්වාසය දිනාගත හැකි විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කර වහාම මැදිහත් විය යුතු බව ඔහු පෙන්වා දෙයි. ජනතාව මත පටවා ඇති බදු බර ඉහළ යාම සහ වෙළෙඳපොළ දැනුම නිසි ලෙස භාවිත නොකිරීම රටේ ආර්ථිකයට තර්ජනයක් වී ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
රටේ ආර්ථිකය වැටෙන්නට ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, එය වෙළෙඳපොළ විශ්වාසය තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවන බවත්, ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය බවත් හර්ෂ ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.














