හැටන් නගරයේ පවත්වාගෙන ගිය ත්‍රිරෝද රථ අලෙවි සැලක් මගින් එන්ජින් අංක ව්‍යාජ ලෙස කොටා විකුණන ලද ත්‍රිරෝද රථ තුනක් සමඟ එහි හිමිකරු හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. රුපියල් ලක්ෂ දෙකහාමාරක මූලික ගෙවීමක් සහ මූල්‍ය සමාගම් හරහා ඉතිරි මුදල ලබා දීමේ ගිවිසුමකින් පසු ත්‍රිරෝද රථයක් මිලදී ගත් පාරිභෝගිකයෙකුට ඇති වූ සැකයක් මත එය පරීක්ෂා කිරීමේදී එන්ජින් අංකය මකා ව්‍යාජ ලෙස කොටා ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම සංවිධානාත්මක ජාවාරම අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
පැමිණිල්ල මත සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අදාළ වෙළඳසැල සහ සැකකරුගේ නිවස පරීක්ෂාවට ලක් කරමින් එන්ජින් අංක මකා කොටස් කරන ලද ත්‍රිරෝද රථ එන්ජින් දෙකක් සහ අංක තහඩු කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද හෝ නීතිවිරෝධී අපරාධවලට යොදාගත් වාහන මෙලෙස කැබලි කර වෙනත් අමතර කොටස් යොදා එකලස් කර අලෙවි කර ඇත්දැයි යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුව ඇත.
ප්‍රදේශයේ දිගුකාලීනව ක්‍රියාත්මක වී ඇති මෙම ජාවාරම රටපුරා පුළුල් ජාලයක ප්‍රතිඵලයක් විය හැකි බැවින්, අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථවල සියලු විස්තර දිවයිනේ අනෙකුත් පොලිස් ස්ථාන වෙත යොමු කර වාර්තා ලබා ගැනීමටත්, ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා හා මෝටර් රථ පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටත් හැටන් කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන තිබේ.














