හැටන් මහජන වෙළඳපොළේ දෙපස මගීන්ට ගමන් කිරීමට නොහැකි වන සේ මාර්ගය අවහිර කරමින් වෙළඳාම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් එම වෙළඳුන්ට පසුගිය (13) දින බලධාරීන් විසින් දැඩි ලෙස අවවාද කරනු ලැබීය.
ඇතැම් වෙළඳුන් විසින් එළවළු සහ පලතුරු ප්‍රදර්ශනය කරමින් මාර්ගය අවහිර කිරීම හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවට හැටන් දික්ඔය නගර සභාවට පැමිණිලි කිහිපයක් ලැබී තිබිණි. ඒ අනුව නගර සභාවේ ආදායම් පරිපාලක, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ හැටන් පොලිසියේ පරිසර ඒකකයේ නිලධාරීන් එක්ව අදාළ ස්ථානය පරීක්ෂාවට ලක් කළහ.
එහිදී එම නිලධාරීන් වෙළඳුන්ට උපදෙස් ලබා දුන්නේ මාර්ගය අවහිර නොවන පරිදි වෙළඳාම් කටයුතු සිදු කරන ලෙසත්, එසේ නොකරන වෙළඳුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත්ය.
තවද, වෙළඳසැල් ඉදිරිපිටම ඉවතලන එළවළු ගොඩගැසීම හේතුවෙන් පොළ භූමියේ පාරිසරික ගැටලු ද මතුව ඇති බව බලධාරීන් නිරීක්ෂණය කළ අතර, එම තත්ත්වය වහාම නිවැරදි කරගන්නා ලෙසත් ඔවුහු දැනුම් දුන්හ.














