හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පන්මල් අංවන්දී ප්‍රදේශයේ නාය ගිය ස්ථානයට ඉහළින් වැවී තිබූ යුකැලිප්ටස් වර්ගයේ ගස් කිහිපයක් මාර්ගයට කඩා වැටීමේ අවදානමක් පවතින බවට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමඟ, එම ගස් කපා ඉවත් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය අද (16) පියවර ගෙන ඇත.
නාය ගිය ස්ථානයේ කඳු බැවුමේ වැවී තිබූ මෙම ගස්වල මුල් පෑදී තිබූ අතර, පවතින දැඩි සුළං සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ගස් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ දැඩි අවදානමක් පැවති බව ප්‍රදේශවාසීන් සහ මාර්ගය භාවිතා කරන ජනතාව පෙන්වා දුන්හ. මේ පිළිබඳව වහාම අවධානය යොමු කළ නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා, එම ගස් අයිති දිඹුල පතන – පට්ටිපොළ වතුයායේ පාලන අධිකාරියට දැනුම් දීමෙන් අනතුරුව ගස් කපා ඉවත් කර ඇත.
මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් පෙර සිට මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබූ නමුත්, ගස් කපා ඉවත් කිරීමෙන් පසු මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කරමින් මංතීරු දෙකම යළි විවෘත කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන තිබේ.
















