මත්ද්‍රව්‍ය නිවාරණය, ළමා අපයෝජනය සහ ළමා හිංසනය පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දින හැටන් DKW සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි. සමාජයට යහපත් දරුවන් යොමු කිරීමේ අරමුණින් හැටන් පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
හැටන් බොස්කෝ විදුහලේ සිංහල සහ දමිළ අංශයේ සිසුන් ඉලක්ක කරමින් පැවැති මෙම වැඩසටහනේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිසුන් ඇමතුවේය. එහිදී මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් පිළිබඳ තොරතුරු වෙතොත් ඒ පිළිබඳව පාසල හරහා හෝ සෘජුවම පොලිසිය වෙත දැනුම් දෙන ලෙසත්, ළමා අපයෝජන සහ හිංසන සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නේ නම් ඒ පිළිබඳව කඩිනමින් පියවර ගැනීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස මහතා සහ හැටන් පොලිස් කොට්ඨාශයේ කාන්තා පොලිස් කාර්යාංශයේ ප්‍රධානී කුමාරි විජේසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















