සීමාසහිත සෞඛ්ය දෙපාර්තමේන්තුවේ සමූපකාර සකසුරුවම්කම සහ ණය ගනුදෙනු පිළිබඳ සමිතිය මඟින් සංවිධානය කරනු ලැබූ “දිරිය දරු ප්රණාම” ශිෂ්යත්ව ප්රධානෝත්සවය කොළඹ ආනන්ද විද්යාලයේ කුලරත්න ශාලාවේදී සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. රාජ්ය සේවකයින්ගේ සහ සෞඛ්ය ක්ෂේත්රයේ කාර්ය මණ්ඩලවල සුබසාධනය උදෙසා ක්රියාත්මක වන මෙම ජාතික වැඩපිළිවෙළ හරහා නැගී එන පරපුරේ අධ්යාපනික අනාගතය සවිබල ගැන්වීම උදෙසා ආයතනික මට්ටමින් කෙරෙන ප්රභල මැදිහත්වීම මෙහිදී දැඩි ඇගයීමට ලක් විය.
දිවයින පුරා පළාත් නවයම ආවරණය කරමින් ක්රියාත්මක වන මෙම සත්කාරක ව්යාපෘතිය යටතේ මෙවර බස්නාහිර පළාතේ දරුවන් 320 දෙනෙකු වෙනුවෙන් මූල්ය පරිත්යාග, පාසල් පොත්පත්, බෑග් ඇතුළු අධ්යාපනික උපකරණ සහ විශේෂ සහතික පත් පිරිනැමීමට කටයුතු කර තිබේ. සමස්ත වැඩසටහන යටතේ දිවයින පුරා සිසුන් 2,000 කට අධික සංඛ්යාවකට ශිෂ්යත්ව පිරිනැමෙන අතර, ඒ වෙනුවෙන් ශිෂ්යත්ව සඳහා රුපියල් මිලියන 31 ක් සහ පාසල් උපකරණ ලබාදීමට රුපියල් මිලියන 22 ක් වශයෙන් සමස්තයෙන් රුපියල් මිලියන 53 ක දැවැන්ත ප්රතිපාදනයක් වෙන් කර තිබීම විශේෂත්වයකි. උත්සවය ඇමතූ අමාත්යවරයා පෙන්වා දුන්නේ සෞඛ්ය දෙපාර්තමේන්තුව සිය රාජකාරියෙන් ඔබ්බට ගොස් පැය 24 පුරා ජනතා සේවයේ යෙදෙන කොඳුනාරටිය බඳු ආයතනයක් බවත්, ශිෂ්යත්වලාභී දරුවන් අනාගතයේදී සමාජය වෙනුවෙන් ඉටුවිය යුතු වගකීම් පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතු බවත්ය.
රාජ්ය හා සමුපකාර අංශයන්හි එකමුතුවෙන් ක්රියාත්මක වන මෙවැනි සුබසාධන ප්රයත්නයන් මඟින් ආර්ථික අභියෝග හමුවේ පසුවන පවුල්වල අධ්යාපනික බර පැටවීම සැලකිය යුතු ලෙස ලිහිල් වන අතර, අනාගත මානව සම්පත සංවර්ධනය උදෙසා එය කෙළින්ම දායක වනු ඇත. ඉදිරියේදීත් සෞඛ්ය ක්ෂේත්රයේ සේවකයින්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා මෙවැනි වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගැනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















