සෞඛ්‍ය අමාත්‍යාංශය කුලියට ලබාගත් ගොඩනැගිල්ලක කුලී චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ප්‍රධාන ලිපිකරුවෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (21) නියෝග කළේය.
බණ්ඩාරගම පදිංචි උක්වත්තගේ ඩග්ලස් නමැති මෙම සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද පියවර ගත්තේය. සැකකරු අමාත්‍යාංශයේ ප්‍රධාන ලිපිකරු ලෙස සේවය කර විශ්‍රාම ලැබීමෙන් පසු එහි ආපනශාලා හිමිකරු ලෙස කටයුතු කරමින් සිටියදී අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ 2023, 2024 සහ 2025 වර්ෂවලට අදාළව ගොඩනැගිලි කුලී චෙක්පත් ලබාදීමේදී සැකකරු අවස්ථා කිහිපයකදී රුපියල් ලක්ෂ 25 බැගින් චෙක්පත් 7ක් මගින් මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බවයි. අදාළ චෙක්පත් වෙනත් පුද්ගලයන් හරහා බැංකු මගින් මාරු කරගෙන ඇති බවත්, සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බැවින් විමර්ශන අවසන් වන තෙක් සැකකරු රඳවා ගන්නා ලෙසත් අල්ලස් කොමිසම ඉල්ලා සිටියද, විත්ති පාර්ශවයේ කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප නියම කළේය.














