ආහාර සකස් කිරීම, ගබඩා කිරීම සහ ප්‍රවාහනය සඳහා බහුලව භාවිත කරන ප්ලාස්ටික් අඩංගු ආහාර බහාලුම් සහ ඇසුරුම් මගින් මිනිස් සිරුරට විවිධ බරපතල සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දනී විතාන මහත්මිය අනතුරු අඟවයි.
ජූනි 7 වැනි දිනට යෙදුණු ලෝක ආහාර සුරක්ෂිතතා දිනය නිමිත්තෙන් අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ, එදිනෙදා ජීවිතයේදී බහුලව භාවිත කරන ජල බෝතල්, දහවල් ආහාර පෙට්ටි සහ රැගෙන යන ආහාර ඇසුරුම් වැනි ප්ලාස්ටික් නිෂ්පාදන මගින් පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සහ බිස්ෆෙනෝල්-ඒ (BPA) වැනි විෂ රසායනික ද්‍රව්‍ය ආහාර සහ පාන වර්ග හරහා සිරුරට ඇතුළු විය හැකි බවයි.
මෙලෙස සිරුරට ඇතුළු වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ආහාර සහ පාන වර්ග හරහා සිරුරට ඇතුළු වී ක්‍රමයෙන් මොළය, අක්මාව සහ වකුගඩු වැනි ප්‍රධාන අවයවවල තැන්පත් විය හැකිය. කාලයත් සමඟ මෙම විෂ ද්‍රව්‍ය රුධිර සංසරණ පද්ධතිය හරහා ගමන් කර වැදගත් අවයවවල තැන්පත් වී ඒවායේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හැකි බව ඇය පැවසුවාය. තවද, රුධිරයේ සංසරණය වන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු රුධිර නාල අවහිර වීමට දායක විය හැකි අතර, එමගින් හෘදයාබාධ ඇතුළු හෘද වාහිනී රෝග වැළඳීමේ අවදානම වැඩි වේ.
ප්ලාස්ටික්වල අඩංගු BPA වැනි රසායනික ද්‍රව්‍ය ශරීරයේ හෝමෝන සමතුලිතතාවය බිඳ දමමින් හෝමෝන ආශ්‍රිත ආබාධ සහ සරුභාවය අඩු වීම ඇතුළු ප්‍රජනන සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි බව වෛද්‍ය විතාන මහත්මිය පෙන්වා දෙයි. මෙවැනි ද්‍රව්‍යවලට දිගුකාලීනව නිරාවරණය වීමෙන් බෝ නොවන රෝග සහ නිදන්ගත සෞඛ්‍ය තත්ත්වයන් මෙන්ම ඇතැම් පිළිකා වර්ග වැළඳීමේ අවදානම ද වැඩි විය හැකි බව ඇය අනතුරු අඟවයි.
ආහාර සුරක්ෂිතතාව යනු හුදෙක් ආහාරවල ගුණාත්මකභාවය පමණක් නොව, ඒවා සකස් කරන, ගබඩා කරන සහ ප්‍රවාහනය කරන ද්‍රව්‍යවල ආරක්ෂාව ද සම්බන්ධ බව ඇය අවධාරණය කළාය. මේ නිසා මහජනතාව මැටි බඳුන්, මල නොබැඳෙන වානේ (Stainless steel) උපකරණ සහ වීදුරු බහාලුම් වැනි ආරක්ෂිත විකල්ප භාවිතයට යොමු විය යුතුය. පිළිගත් ආරක්ෂිත ප්‍රමිතීන්වලට අනුකූල ‘ආහාර ශ්‍රේණියේ’ (Food-grade) ප්ලාස්ටික් නිෂ්පාදන පමණක් භාවිත කළ යුතු බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
















