හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ කර්මාන්තශාලාවක හටගත් ප්‍රබල ගින්න සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මෙම අවාසනාවන්ත අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ගින්නට හේතුව, ගිනි ආරක්ෂණ ප්‍රමිතීන් අනුගමනය කර ඇත්ද යන්න සහ කර්මාන්තශාලා ආඥා පනත ක්‍රියාත්මක වී ඇද්ද යන්න පිළිබඳ පුළුල් ලෙස සොයා බලන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මියට දැනුම් දී ඇත. මීට අමතරව, දිවයින පුරා අවදානම් සහිත සේවා ස්ථානවල ශ්‍රමිකයින්ගේ වෘත්තීය සුරක්ෂිතතාව පිළිබඳවද විශේෂයෙන් සොයා බලන ලෙස ඔහු වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.
















