හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ පිහිටි ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක අද (21) පෙරවරුවේ හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගින්න හටගන්නා අවස්ථාවේදී සේවකයන් 80කට අධික පිරිසක් එහි සිට ඇති අතර, විදුලි පංකාවක සිදුවූ විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
අදාළ කර්මාන්තශාලාව 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බවත්, ශබ්ද, වායු හා අපද්‍රව්‍ය වාර්තා ඉදිරිපත් කර නොතිබූ බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එසේම, හදිසි අවස්ථාවකට මුහුණදීමේ සැලැස්මක්ද එහි නොතිබූ අතර, PVC ඇතුළු විෂ රසායනික ද්‍රව්‍ය රැසක් එහි ගබඩා කර තිබී ඇත. මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.
















