හොරණ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් සූක්ෂ්ම ලෙස අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම බැංකුවේ සහකාර කළමනාකරුගේ මූල්‍ය ගනුදෙනු පිළිබඳව තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවලදී, සැකකරු සමඟ සමීප මූල්‍ය ගනුදෙනු පවත්වා ඇති නල්ලුරුව සහ මෝදරවිල ප්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
අදාළ සහකාර කළමනාකරු විසින් දීර්ඝ කාලයක් තිස්සේ බැංකු පද්ධතිය තුළ සිදුකර ඇති මෙම මූල්‍ය වංචාව සඳහා මෙම කාන්තාවන් දෙදෙනාගේ සහයෝගය ලැබී ඇත්දැයි පොලිසිය සැක පළ කරයි. බැංකු ගිණුම්වල අක්‍රමිකතා සිදුවන අවස්ථාවලදී සැකකරු විසින් මෙම කාන්තාවන්ගේ ගිණුම් හරහා මුදල් හුවමාරු කිරීම් සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.
මේ වන විට අත්අඩංගුවේ පසුවන සහකාර කළමනාකරුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් මෙම වංචාව සිදුකළ ආකාරය පිළිබඳව තොරතුරු හෙළි කරමින් සිටින අතර, තවත් පුද්ගලයින් පිරිසකගේ නම් ද ඔහු විසින් සඳහන් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. සැකකරු සූක්ෂ්ම ලෙස බැංකු පද්ධතියේ සිදුකළ ගනුදෙනු පිළිබඳව අභ්‍යන්තර විගණන වාර්තාවක් ද මේ වන විට කැඳවා ඇති අතර, එම වාර්තාව ලැබුණු පසු වංචාවට සම්බන්ධ වූ තවත් පාර්ශව හඳුනා ගැනීමට හැකි වනු ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය සහ මූල්‍ය අපරාධ විමර්ශන අංශය එක්ව ඉදිරි නීතිමය පියවර ගනිමින් සිටී.
















