හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් මුදල් පැහැරගෙන යාමේ සිද්ධියකට අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටි එම බැංකුවේම ආරක්ෂක නිලධාරියා ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද (11) නියෝග කළාය. මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ගයාන් සුදර්ශන නමැති පුද්ගලයෙකි.
සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිස් විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළේ, බැංකු කොල්ලයේ පළමු සැකකරු විසින් මෙම ආරක්ෂක නිලධාරියා (දෙවන සැකකරු) වෙත කොල්ලයට පෙර අවස්ථා දෙකකදී විදේශීය මත්පැන් බෝතල් දෙකක් ලබා දී ඇති බවයි. එමෙන්ම මොවුන් දෙදෙනා නිතර එකිනෙකා සමඟ සමීපව කතා බහ කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, සැකකාර ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයාට එරෙහිව මෙතෙක් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති බැවින්, සාක්ෂි සම්පිණ්ඩනයක් සිදුකර ඔහුව නඩුවෙන් මුදාහරින ලෙසයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන 23 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර, බස්නාහිර පළාත් උතුර බුද්ධි අපරාධ විමර්ශන කොට්ඨාශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
















