මත්ද්‍රව්‍ය භාවිතා කර මගී ප්‍රවාහන බස් රථ සේවයේ යෙදී සිටි රියැදුරන් සිව්දෙනෙකු සහ කොන්දොස්තරවරුන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු හොරණ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම 2026 ජූනි 11 වන දින හොරණ ප්‍රධාන බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී සිදු කෙරිණි. හොරණ, ඉංගිරිය, මොරගහහේන සහ අගුරුවාතොට පොලිස් ස්ථානවල රථවාහන අංශයේ නිලධාරීන්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරීන් සමඟ එක්ව මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කළහ.
හොරණ නගරයෙන් ගමන් ආරම්භ කරන සහ නගරය හරහා ගමන් කරන මගී ප්‍රවාහන බස් රථවල සේවකයන් 151 දෙනෙකු මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී මත්ද්‍රව්‍ය භාවිත කළ බවට තහවුරු වූ බස් රථ රියැදුරන් 04 දෙනෙකු සහ කොන්දොස්තරවරුන් 02 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, එම රියැදුරන් ධාවනය කළ බස් රථ 04ක්ද පොලිස් භාරයට ගැනිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34ත් 61ත් අතර පසුවන කුඩාඔරුව, බෙල්ලපිටිය, කලුතරහින්න, පෝරුව සහ එපිටමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
















