හොරණ ප්‍රදේශ රැසක මහා මාර්ගයේ ගමන් ගත් කාන්තාවන්ගේ රන්මාල කොල්ලකෑමේ සිදුවීම් මාලාවකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු හොරණ පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතරට අපරාධ සඳහා අනුබල දුන් එක් සැකකරුවෙකුගේ මව සහ අනෙක් සැකකරුගේ නැන්දණියද ඇතුළත් වේ.
නාර්තුපාන සහ බැල්ලපිටිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 සහ 35 පසුවන මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය 25 වැනිදා සිට සතියක් වැනි කෙටි කාලයක් තුළ යතුරුපැදියකින් පැමිණ ස්ථාන හතරකදී මංකොල්ලකෑම් සිදුකර ඇති අතර, CCTV දර්ශන ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව පොලිසිය විසින් සැකකරුවන් කොටුකරගෙන ඇත. පොලිස් වැටලීමේදී එක් සැකකරුවෙකු විසින් මංකොල්ලකන ලද රන්මාලයක් ගිලදමා ඇති අතර, X-Ray පරීක්ෂාවකින් එය තහවුරු වීමෙන් පසු ඔහුව හොරණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර රෝහල්ගත කර තිබේ. මංකොල්ලකෑම් සඳහා භාවිතා කළ යතුරුපැදියක්, සොරකම් කරන ලද රන් භාණ්ඩ විකුණා ලබාගත් මුදලින් මිලදී ගත් යතුරුපැදි දෙකක් සහ උකස් කිරීමට රැගෙන යමින් තිබූ හා උකස් කර තිබූ රන් භාණ්ඩද පොලිස් භාරයට ගෙන ඇත.














