හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේදී රෝහල් පොලිසියේ නිලධාරියෙකුට සහ ආරක්ෂක නිලධාරිනියකට පහර දී පලාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ මූලස්ථාන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සිද්ධියට අදාළ සැකකරු බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත. අසනීප තත්ත්වයක් හේතුවෙන් හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර සිටි සිය පියා බලන්නට පැමිණි අවස්ථාවේදී මෙම පුද්ගලයා එහි සිටි වෛද්‍යවරයා සමඟ යම් ආරවුලක් ඇති කරගෙන තිබේ.
එම අවස්ථාවේදී රෝහල් පොලිසියේ සේවයේ නියුතුව සිටි පොලිස් සැරයන් (51847) නිශ්ශංක මහතා මැදිහත්ව සැකකරුට ස්ථානයෙන් ඉවත්ව යන ලෙස දන්වා ඇත. එහිදී කෝපයට පත් සැකකරු පොලිස් නිලධාරියාගේ හිස ප්‍රදේශයට පහර දී ඇති අතර, සිද්ධිය විමසීමට පැමිණි රෝහල් ආරක්ෂක නිලධාරිනියද තල්ලු කර දමා තිබේ.
පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විට හොරණ රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
පහරදීමෙන් අනතුරුව සැකකරු මෝටර් රථයකින් පලා ගොස් ඇති අතර, එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරිනිය විසින් අදාළ රථයේ අංකයේ කොටසක් සටහන් කරගැනීමට සමත්ව තිබේ. එම තොරතුරු ඔස්සේ සැකකරු සහ ඔහු පලාගිය වාහනය සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.














