හොරණ මහජන බැංකු ශාඛාවෙන් රුපියල් මිලියන 35ක මුදලක් මංකොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසියට, එම බැංකුවේ මුදල් පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම ශාඛාවේ කළමනාකරුට නියෝග කර තිබේ.
හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගම මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ පසුගිය ජුනි 08 වන දිනයි. මෙම මංකොල්ලය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු වඩාත් ශක්තිමත් කිරීම සඳහා බැංකුවේ විධිමත් මූල්‍ය සහ මුදල් හැසිරවීමේ ක්‍රියා පටිපාටි පිළිබඳව පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බව පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත. ඒ අනුව අදාළ වාර්තාව පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට බැංකු කළමනාකරු පියවර ගෙන ඇත.
මේ අතර, සිද්ධියට අදාළ විමර්ශන කටයුතුවල නිරත නිලධාරීන් විසින් බැංකු පරිශ්‍රය තුළ තිබී සැඟවූ තත්ත්වයක තිබූ රුපියල් මිලියන 1.747ක මුදලක් සහ මංකොල්ලයට යොදාගත් බවට සැකකෙරෙන බෑගයක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මෙම භාණ්ඩ බැංකු පරිශ්‍රයේ තිබූ යකඩ රාක්කයක් සහ බිත්තියක් අතර සඟවා තිබියදී සොයාගෙන ඇත.
බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දොළමුල්ල සහ පොලිස් පරීක්ෂක ජූඩ් මහත්වරුන් ඇතුළු නිලධාරීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධ කරුණු අධිකරණය හමුවේ ගොනු කරන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වේ.
















