හොරණ, අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” නම් ලියාපදිංචි නොකළ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ පසුගියදා (03) පස්වරුවේ හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මේ වන විට එම ආයතනයට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය කටයුතු කරමින් සිටී.
ගින්න හටගන්නා අවස්ථාවේදී එම මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 72 දෙනෙකු පමණ සිට ඇති අතර, ඉන් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව සිටිති. තුවාල ලැබූ 7 දෙනෙකු හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන අතර, නිරුපද්‍රිතව බේරාගත් 51 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ සකුන්තලා රුක්මාලි රැටියල මහත්මිය අවධාරණය කළේ, මෙවැනි ස්ථාන පවත්වාගෙන යාමේදී ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ නිසි මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ නීත්‍යානුකූල ලියාපදිංචියකින් යුතුව කටයුතු කිරීම අනිවාර්ය බවයි. ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන ගිය මෙම ආයතනය සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.
ගින්න ඇති වීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත. ඉදිරියේදී මහෙස්ත්‍රාත් පරීක්ෂණ සහ නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ වගකිවයුත්තන්ට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කිරීමට රජය සැරසෙයි. ප්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි නොවූ වැඩිහිටි නිවාස නියාමනය කිරීමේ නව වැඩපිළිවෙළක් යටතේ මෙවැනි අකටයුතුකම් වැළැක්වීමට අමාත්‍යවරයා ද විශේෂ උපදෙස් ලබා දී තිබේ.
















