ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරාන වරායන් ඉලක්ක කර ගනිමින් නැවත වරක් නාවික අවහිර කිරීම් ක්‍රියාත්මක කිරීම සහ දෙරට අතර ගල්ෆ් කලාපයේ ප්‍රහාර උත්සන්න වීම හේතුවෙන් හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සංඛ්‍යාව විශාල වශයෙන් පහළ ගොස් තිබේ.
නැව් ගමනාගමන දත්තවලට අනුව, ඉරානය විසින් හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව පසුගිය සෙනසුරාදා නිවේදනය කිරීමෙන් පසු ගමනාගමනය දැඩි ලෙස සීමා වී ඇත. යුද්ධය ආරම්භ වීමට පෙර ලෝකයේ සමස්ත තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක් පමණ ගමන් කළ මෙම සමුද්‍ර මාර්ගය මේ වන විට දැඩි අවදානම් කලාපයක් බවට පත්ව තිබේ.
පෙරේදා (15) නෞකා 13ක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළද, ඊයේ (16) දිනයේදී එම සංඛ්‍යාව නෞකා 07ක් දක්වා පහළ ගියේය. ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන නෞකා හෝ ද්‍රව ස්වභාවික ගෑස් ටැංකි කිසිවක් ඊයේ දිනයේදී හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර නොමැත. ගමන් කළ නෞකා බොහොමයක් කුඩා තෙල් ටැංකි සහ වියළි භාණ්ඩ ප්‍රවාහන නෞකා වූ අතර, ඒවායින් බොහොමයක් හිස්ව ගමන් කර ඇත. සෞදි අරාබියට අයත් බොරතෙල් බැරල් මිලියනයක් රැගත් විශාල ටැංකියක් සිය හඳුනාගැනීමේ උපකරණ අක්‍රීය කරමින් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති බව නිරීක්ෂණය වී තිබේ.
මෙම මිලිටරි මෙහෙයුම් හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම් දාමය දැඩි ලෙස අඩාල වී ඇති අතර, කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් අවිනිශ්චිත වී ඇත.
















